ශ්‍රී ලංකා ජ්‍යාත්‍යන්තර පාසල් ප්‍රධානීන් සඳහා සමුළුවක් නොවැම්බරයේදී

0
357

මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසැල් නියෝජනය කරන ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමය සිය වාර්ෂික ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට සැරසෙයි. මෙම සමුළුව “අර්බුදකාරී අවස්ථාවලදී  නායකත්වය සහ ඉගෙනීම “යන තේමාව යටතේ ලබන නොවැම්බර් 22 වනදා සිට 24 වනදා දක්වා  වැලිගම මැරියට් රොසෝර්ට් සහ ස්පා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් වර්ධනය කිරීමේ අරමුණු ඇතිව  මෙරට ප්‍රමුුඛතම ජාත්‍යන්තර පාසැල් එක්ව වසර 2003 දී  ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමය (TISSL)පිහිටුවා ගනු ලැබූහ. මේ යටතේ ජාත්‍යන්තර මට්ටමේ අති නවීන ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේද සිය සාමාජික පාසැල් වෙත හඳුන්වා දීම සිදුකෙරෙන අතර ඒ ඔස්සේ ලොව ප්‍රමුඛ අනිකුත් ජාත්‍යන්තර පාසැල් හා සමාන අධ්‍යාපනයක් මෙම පාසැල් තුළින්ද ලබාදීමට සැලසුම් කර තිබේ.

TISSLහි මෙවර තේමාව වන්නේ “අර්බුදකාරී අවස්ථාවලදී නායකත්වය සහ ඉගෙනිම” යන්නයි.  වර්තමාන කාලය හා සසඳන විට වඩාත් කාලෝචිත තේමාවක් වන මෙම තේමාව යටතේ අධ්‍යාපනය කෙරෙහි බලපාන විවිධ අර්බුද තුළ අන්තර්ගත අභ්‍යන්තර හා බාහිර කරුණු පිළිබදව විමසා බැලීමට අපේක්ෂා කෙරේ. මෙම සමුළුව පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමය (TISSL) හි සභාපති සහ ඇලීතියා ජාත්‍යන්තර පාසැලේ විධායක අධ්‍යක්ෂිකා කුමාරි හපුගල්ලේ පෙරේරා  මහත්මිය සඳහන් කළේ ස්වාභාවික විපත්, ත්‍රස්ත ක්‍රියා,තාක්ෂණික සහ ගෝලීය දේශපාලන කැලඹිම් සහ අභ්‍යන්තර කරුණු  ආදිය පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු කරන  බවයි. නියම නායකයෙකු ලෙස නායකත්වය දැරීමට ඉගෙන ගන්නේ කෙසේද යන්න මෙන්ම අර්බුදකාරී අවස්ථාවලදී නායකත්වය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ෙසහ සිය කණ්ඩායම දිරිගන්වන්නේ කෙසේද යන්න ආදිය පිළිබඳව ද  මෙම සමුළුවේදී කථාබහට ලක්වන බව ඇය කියා සිටියා ය. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාරි හපුගල්ලේ පෙරේරා මහත්මිය සඳහන් කළේ මෙවර මෙම සමුළුව පැවැත්වෙන්නේ 7 වන වරට බවයි. වසර 2013 දී අරම්භ වූ මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර පාසැල් වල ප්‍රධානීන් සහ තීරකයින් සහ සාමාජිකයින් මෙන්ම ජාත්‍යන්තර පාසැල් සංගමයේ සාමාජිකයින් නොවන පිරිස් සහ කලාපයේ  රජයේ සහ පුද්ගලික පාසැල් වල නියෝජිතයින් සහභාගි වීමට නියමිත බව සඳහන් කළාය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමයේ (TISSL) සමාරම්භක සභාපති සහ ගේට්වේ පාසැලේ සභාපති හර්ෂ අලස්  මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ  සාමූහිකත්වය වර්ධනය කිරීම අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ අධ්‍යාපන අමාත්‍යංශය හා ජාලගත කිරීම ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමයේ (TISSL)හි ප්‍රමුඛ අරමුණ බවයි. එම අරමුණු ඉටුකර ගැනීම  ඉලක්ක කර ගනිමින් මෙම වාර්ෂික සමුළුව පැවැත්වෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.  පාසැල් 24ක සාමාජික ජාලයක් හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමය (TISSL)ක්‍රියාත්මක වන බවත් ඒ ඔස්සේ 50,000කට අධික සිසු සිසුවියන් ප්‍රමාණයකගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කරවන බවත් ‍හෙතෙම  පෙන්වා දුන්නේය. එම සිසු පිරිස අතරින් 95%කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලාංකික සිසු සිසුවියන් වීම මෙහි ඇති විශේෂත්වයක් බවද ඒ මහතා පැවසීය.  රජයේ සහ පෞද්ගලික පාසැල් 10,000 ක් පමණ මෙරට ක්‍රියාත්මක බව පෙන්වා දුන් හර්ෂ අලස් මහතා කියා සිටියේ එම පාසැල්වලට සපුරාලිය හැක්කේ මෙරට පාසැල් ඉල්ලුමෙන් 70%ක පමණ ප්‍රමාණයක් පමණක් බවයි. ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමයේ (TISSL) පාසැල් වලට ඇතුළත් වීම තරමක් අපහසු කටයුත්තක් වුවද මෙරට අධ්‍යාපනය කාර්යභාරයේ සැලකිය යුතු කොටසක් එම පාසැල් තුළින් ඉටුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. එම කාර්ය භාරය වඩාත් විධිමත්  සහ සැලසුම් සහගත ලෙස උසස් සහ ගුණාත්මක අන්දමින් ශ්‍රී ලංකා පද්ධතියේ කොටසක් ලෙස පවත්වාගෙන යාමට මෙම සාමූහිකත්වය වැදගත් වන බවද හෙතෙම කියා සිටියේය. 

මෙම වාර්ෂික සමුළුව ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමයේ (TISSL) සභාපතිනි කුමාරි හපුගල්ලේ පෙරේරා මහත්මිය  , මහ ලේකම් මලිති ජයතිස්ස මහත්මිය, භාණ්ඩාගාරික හර්ෂණ පෙරේරා සහ  මහජන සම්බන්ධතා සහ සන්නිවේදන ලේකම්  ක්‍රිෂාන්තිනී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් සංවිධානය කරන අතර  ආචාර්ය කුමාරි ග්‍රේරෝ, අචාර්ය හර්ෂ අලස් ආදී විධායක කමිටු සාමාජිකයින්ගේ පුර්ණ සහයෝගය ඇතිව  පවත්වනු ලබයි. ‍මෙවර මෙම සමුළුව ප්‍රමුඛ විදේශිය දේශකයින් 4 දෙනෙකුගේ  දේශන වලින් සමන්විත වන අතර ගෝලීය මට්ටමේ අධ්‍යාපනයක් මෙරට පන්තිකාමර තුළදී ලබාදීම පිළිබඳව අදහස් දැක්වීමට නියමිතව තිබේ

  • ඇන්ග්ලියා රස්කින් විශ්ව විද්‍යාලයේ (Anglia Ruskin University (ARU))පාසැල් අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපන ඒකක ප්‍රධානි, විදුහල්පති, දේශක අචාර්ය පිල් කර්ක්මන්
  • Extended Essay සහ TOK Kosta  යනාදි ග්‍රන්ථ වල කතුවරයා වන කොස්ටාඩිනෝස් ලේකානිඩ්ස් 
  • පියර්සන් හි ගෝලීය ‍වෙළඳ පල නව නිෂ්පාදන හා විසඳුම් පිළිබඳ   උප සභාපති උජ්වාල් සිං
  • Coxless කාර්ය මණ්ඩල සාමාජික  නතාලියා කොහේන්

මෙම සමුළුව සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය Cambridge University Press, Oxford University Press සහ  Pearson Edexcel විසින් දරන අතර එම අනුග්‍රහයෙන් සමූළුවට එක්වන සෑම ජාත්‍යන්තර  දේශකයෙකුම තේමාවට අදාලව සිය විෂය ක්ෂේත්‍රය ඔස්සේ දේශන ඉදිරිපත් කරයි.  මීට අමතරව බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙහි සම අනුග්‍රහකත්වය දරන අතර ප්‍රමුඛ කථිකයෙකු සඳහා අනුග්‍රහය දක්වයි.  අනිකුත් සම අනුග්‍රාහකයින් ‍ලෙස Business Management School, Horizon Campus, Jeya Book Center, Nations Trust Bank, Prime Business Solutions, Star Publishing, Softlogic Life Insurance PLC සහ  South Asian Technologies යනාදී ආයතන සහය දක්වන අතර  Create Labs – Singapore සහ St Aidan’s Anglican Girls’ School – Australia යනාදී ආයතන ද අනුග්‍රහය සපයයි. 

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසැල් සංගමයේ  (TISSL) වත්මන් සභාපතිනිය වන කුමාරි හපුගල්ලේ පෙරේරා මහත්මියගේ අදහසකට අනුව එහි විධායක කමිටුව විසින්  මෙවර ප්‍රථම වරට “TISSL’s Lifetime Achievement Award” නමින් විශේෂ සම්මානයක්  ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබේ.  මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකළ පුද්ගලයින් ඇගයීම සඳහා මෙම සම්මානය ප්‍රදානය කෙරේ.  ශ්‍රීලංකාව මෙම තත්වයෙන් තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකි එකම ක්‍රමවේදය අධ්‍යාපනය සවිමත් කිරීම බවත් ඒ සඳහා එම ක්ෂේත්‍රයේ නියුතු  ගුරුවරුන් ප්‍රමුඛ සියලු දෙනාට බරපතල වගකීමක් පැවරෙන බවත් මෙම විශේෂ සම්මානය පිළිබඳ අදහස් දක්වමින් කුමාරි හපුල්ගල්ලේ පෙරේරා මහත්මිය සඳහන් කළාය. එම වගකීම සඳහා කැපවූ පුද්ගලයින් ඇගයීම  සඳහා මේ සම්මානය පිරිනමන බව අය සඳහන් කළාය.මෙම සමුළුව  පාසැල් ප්‍රධානීන්ගේ සිට අංශ ප්‍රධානීන්  සහ අනිකුත් අධ්‍යාපන අංශට සම්බන්ධ පාර්ශව සඳහා විවෘත වන අතර ඒ සඳහා කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට info@tissl.lk වෙතින් වැඩි විස්තර ලබා ගත හැකිය.