රුපියල් කෝටි දෙකකට අඟහරු වලට යන්න ප්ලෑන් එක මෙන්න

0
17

අඟහරු ග්‍රහයා කියන්නේ විවිධ සිද්ධීන් මත විටින් විට සමාජයේ පුවත් මවන මාතෘකාවක්. ඒ අතර අඟහරු තුල ජීවත් වීම කියන කාරණය යලිත් කරලියට පැමිණ තිබෙනවා. එනම් ” 2024 වර්ෂයේදී අඟහරු ග්‍රහයා තුල පදිංචි වීම සඳහා පෘතුවි වැසියන් හට හැකියාව ලැබේයැයි ” මේ දිනවල පැතිරී යන කතාව හේතුවෙන්.

කොහොමද 2024 දී අඟහරු වලට යන්නේ…?

Image Copyright: arstechnica.com

ලොව ප්‍රකට ටෙස්ලා (Tesla) මෝටර් රථ සමාගමේ අධිපති “Elon Musk”  ගේ අදහසකට අනුව මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලද, අඟහරු ග්‍රහලෝකයේ පදිංචිය සඳහා මිනිසුන් ගෙනයාම සඳහා රොකට් යානයක් නිර්මාණය කිරීම සහ අත්හදාබැලීමේ කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. එය SpaceX සමාගම යටතේ සිදු කරන ව්‍යාපෘතියක් වන අතර මෙම යානය “Starship” ලෙසින් හඳුන්වනු ලබනවා. මින් පෙරද අවස්ථා කිහිපයකදීම මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගත් රොකට් යානා වල අත්හදාබැලීම් කටයුතු අසාර්ථක වු අතර “Elon Musk” හට මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නොහැකි තත්වයකට පවා ඇතැම් විට පත් විය. නමුත් “Elon Musk” ගේ අසීමිත උත්සාහය සහ අධිෂ්ඨානය මත නැවත වරක් “Starship” නිර්මාණය වෙමින් තිබෙන අතර මෙවර එය සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කළ හැකි බව වාර්තා වෙනවා.

“Elon Musk” විසින් පවසා ඇති පරිදි මෙම ගමන සඳහා එක් පුද්ගලයෙකු හට ඇමරිකානු ඩොලර් ලක්ෂ පහක් පමණ වැය වේයැයි අනුමාන කරන අතර එය ඇතැම් විට ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණක් වනු ඇති අතර අවශ්‍ය නම් ආර්ථික මට්ටමෙන් අඩු පුද්ගලයන්ට පවා ඔවුන්ගේ දේපළ විකුණා අඟහරු වෙත යාමටද හැකි බවත් යලිත් පෘතුවියට ඒමට අවශ්‍ය නම් ආපසු පැමිණීමට නොමිලේ ටිකට් පතක්ද දෙන බවට ඔහු විසින් ඔහුගේ Twitter ගිණුමේ සටහන් කර තිබෙනවා.

මේ තරම් අඩුවට අඟහරු වලට යන්නේ කොහොමද…?

Image Copyright: Teslarati.com

“Elon Musk” විසින් පවසා ඇති පරිදි “Starship” රොකට් යානය නිෂ්පාදනය සඳහා මිලෙන් අඩු ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගන්නා අතර මෙම යානයට එකවර ටොන් 100 ක බර භාණ්ඩ සහ මිනිසුන් 100 ක ප්‍රමාණයක් ප්‍රවාහනයට හැකියාව තිබෙනවා. තවද මෙම යානය ඉතාමත් සැහැල්ලු නමුත් ඉතාමත් ශක්තිමත් කර්බන් ෆයිබර් (Carbon Fiber) අඩංගු කොට මල නොබැඳෙන ආකාරයෙන් නිෂ්පාදනය කරන ලෙස “Elon Musk” විසින් මෙම යානයේ නිර්මාණය කරන ඉංජිනේරුවරුන්ට උපදෙස් දී ඇති බවත් සඳහන් වෙනවා.

මෙම සංචාරය සඳහා මිල අඩු වීමට ප්‍රධාන වශයෙන් මෙම “Starship” යානය නැවත නැවත භාවිතයට ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර තිබීම සහ නැවත මෙම යානය හට පෘතුවියට පැමිණීමට අවශ්‍ය වායූන් අඟහරු මතදීම නිෂ්පාදනයට හැකියාව තිබීම හේතුවෙන් අනෙකුත් රොකට් යානයන් නිර්මාණයට වැයවන මිලට සාපේක්ෂව මෙම යානය නිර්මාණයට වැයවන මිල ඉතා අඩු  බව වාර්තා වෙනවා.

උද:- මෙම යානයට නැවත පැමිණීමට අවශ්‍ය මීතේන් සහ ඔක්සිජන් (Methane සහ Oxygen) අඟහරු මතදීම නිෂ්පාදනයට හැකියාව තිබෙනවා.

Image Copyright: Inverse

මෙහි ප්‍රථම අදියර වශයෙන් 2022 දී මෙම යානය අභ්‍යවකාශ ගත කරනු ලබන අතර 2023 දී ප්‍රථම වතාවට ජපන් ජාතික බිලියනපතියෙකු වන Yusaku Maezawa සහ කණ්ඩායමක්  සඳ වටා සංචාරයක් සඳහා පිටත් කිරීමටත් මෙම අභ්‍යවකාශ ගත කිරීම් ද්විත්වය සාර්ථක වුවොත් 2024 දී මිනිසුන් අඟහරු ග්‍රහයා මතට ගෙන යාමටත් “Elon Musk” විසින් සැලසුම් කොට තිබෙන බව වාර්තා වෙනවා.

අඟහරු වලට ගිහින් ඉන්නේ කොහොමද…?

Image Copyright: gamewatcher.com

සාමාන්‍ය මිනිසෙකුට ජිවත් වීම සඳහා අත්‍යවශ්‍ය අහාර, ජලය, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය සාධක මිනිස් වාසයට ප්‍රථම නිසියාකාරව අඟහරු ග්‍රහයා තුළ ස්ථාපිත කිරීමට

උදා:- අහාර නිෂ්පාදනය සඳහා හරිතාගාර අඟහරු මත නිර්මාණය කිරීම.

මේ වනවිට “Elon Musk” ඇතුළු කණ්ඩායම විවිධ අත්හදා බැලීම් සිදුකරගෙන යන අතර 2024 ට පෙර මෙම අත්‍යවශ්‍ය සාධක ස්ථාපිත කිරීමට අවශ්‍ය රොබෝ යානා අඟහරු වෙත පිටත් කරන බව සඳහන් වෙනවා.

Image Copyright: whitehouse51.com

අඟහරු වෙත ගමන් ගැනීම එතරම් පහසු කාර්යක් නොවේ, මෙම ගමන සඳහා දින 500 ක් පමණ වය වන අතර මගීන් හට මෙම දින 500ක කාලයක් එක තැනට වී හිදීමට සිදු වෙනවා. දැනට මේ සඳහා ස්වේච්ඡා පුද්ගලයන් විසින් පුහුණු වීම් කටයුතු වලද නිරත වන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙම අඟහරු ග්‍රහයා මතට ගමන් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෙකු සහභාගී වන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකානු රුපියල්  කෝටි දෙකත් – දහයත් අතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇති අතර ඇතැම් විට මෙම අඟහරු සංචාරය සඳහා අනාගතයේදී ලාංකිකයන් වුව ද සහභාගී වීමට ඉඩකඩ තිබේ.