නවතම Huawei P30 Pro වෙළඳපොළට

Huawei සමාගමේ මීළඟ පෙරළිකාර ජංගම දුරකථනය පිළිබඳව පසුගිය ලිපියකින් අපි ඔබට ඉඟියක් පළකරා. එය සත්‍යක් බවට පත් කරමින් ඊයේ දිනයේදී (2019.04.02) Huawei Sri Lanka නිල ආයතනය විසින් කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේදී Huawei P30 දුරකථන මාදිලි දෙක වන Huawei P30
සහ Huawei P30 Pro ඇතුළු තවත් තාක්ෂණික උපාංග කිහිපයක් එළිදැක්වූවා.

එහිදී “Rewrite the Rules of Photography” යනුවෙන් තේමාවක් යොදා තිබීම ම මෙම දුරකථනය කැමරා සඳහා මුල්තැනක් දී තිබෙන බවට පෙර ඉඟියක් ලබා දුන්නා. මෙම P30 දුරකථන මාදිලි සඳහා සුවිශේෂ ගුණාංග කිහිපයක්ම ඇති අතර මෙවර මෙම දුරකථන මාදිලි තුල ඇති කැමරා ඉන් විශේෂ තැනක් ගන්නවා, එයට හේතුව කැමරා සඳහා ලොව ප්‍රචලිත සමාගමක් වන “Leica” සමාගම විසින් මෙම දුරකථනය සඳහා ලොව ප්‍රථම වතාවට Leica Quad කැමරා පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

මෙම දුරකථනය සතුව Super Spectrum සෙන්සරය අඩංගු 40MP කැමරාවක්, 20MP Ultra-Wide angle කැමරාවක් සහ 8MP Telephoto කැමරාවක් වශයෙන් ප්‍රධාන කැමරා ත්‍රිත්වයක් තිබෙනවා. තවද “Super Spectrum” සෙන්සරය මඟින් ඉතා අඩු ආලෝකයක තත්වයක් යටතේදී පවා සුපැහැදිලි ඡායාරූප ගැනීමට පහසුව සලසා දී තිබෙන අතර Huawei P30 Pro සඳහාම නිර්මාණය කර ඇති HUAWEI ToF (Time of Flight) සෙන්සරය හරහා ඡායාරූප තුළ වඩාත් නිවැරදිව Depth එක ලබාගැනීම සිදුකරනු ලබන නිසා ඉතාමත් නිවැරදි ඡායාරූප ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙම දුරකථන සතුව “AI Video Editor” පහසුකම ඇති නිසා මෙමඟින් පටිගත කරනු ලබන වීඩියෝ පට සඳහා සංගීත ඛණ්ඩයන් මෙන්ම විවිධ ප්‍රයෝගද එක් කරගැනීමට හැකියාව පවතිනවා.

Huawei P30 Pro දුරකථනය සඳහා අඟල් 6.47 ක සුපැහැදිලි FHD+ තිරයක් තබෙන අතර මෙහි ඉහල කුඩා Notch එකක් මෙන්ම 32MP සුපිරි සෙල්ෆි කැමරාවකින් ද දැකගැනීමට පුළුවන්. මෙම දුරකථනය සතුව 4200mAh බැටරියක් ඇති අතර 40W SuperCharge  පහසුකම හරහා මෙම බැටරිය විනාඩි 30 ක කාලයක් තුළ 70% දක්වා ආරෝපණය කරගැනීමටද හැකියාව තිබෙනවා. තවද මෙම දුරකථනය තුළ ඇති “SuperCool” තාක්ෂණය නිසා දුරකථනය ඉතා අධික ලෙස භාවිත කරන අවස්ථාවකදී වුවත් සිසිල්ව තබා ගැනීමට උපකාරී වෙනවා.

මෙම දුරකථනය 8GB RAM ධාරිතාවයකින් සහ 256GB මතක ධාරිතාවකින් සමන්විතයි, තවද මෙම Huawei P30 Pro දුරකථනය රුපියල් 179,999 කට මිල වන අතර Breathing Crystal, Aurora Blue සහ Black වර්ණයන්ගෙන් Singer ප්‍රදර්ශනාගාර වල සහ තෝරාගත් Dialog, Mobitel ප්‍රදර්ශනාගාර වලින් මේ වනවිට මිලදී ගැනීමට කටයුතු යොදා ඇත.

Image Copyright: Pocket-lint
Image Copyright: South China Morning Post
Image Copyright: Giga