දත්ත සොරකම් කළා යැයි පෝලන්ත Huawei ආයතනයේ ප්‍රධානියෙක් දැලේ

පෝලන්තයේ බුද්ධි අංශ විසින් ඊයේ දිනයේදී එරට Huawei නිල ආයතනයේ ප්‍රධාන නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙයට හේතුව වී ඇත්තේ පෝලන්තයේ රහස් තොරතුරු එරට Huawei නිල ආයතනය හරහා චීනයට ලබාදෙන බවට ලැබුණු රහස් පණිවිඩයක් හේතුවෙන් බව පෝලන්ත ආරක්ෂක අංශ සඳහන් කර සිටිනවා.

Huawei සමාගමට මීට පෙර ද දත්ත සොරාගැනීම සම්බන්ධ චෝදනාවක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදුකරනු ලැබූ අතර එම හේතුන් මත මේ වනවිට ඇමරිකාවේ Huawei නිෂ්පාදන අළෙවිය සහ භාවිතය තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධව එතරම් කතාබහක් නිර්මාණය නොවුයේ ඇමරිකාව සහ චීනය අතර යම් යම් ගැටළු ඉතිහාසයේ සිටම පැවැතුණු නිසාවෙනි. තවද මේ වනවිට නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ද Huawei නිෂ්පාදන වර්ජනය කර තිබෙන්නේ Huawei ඔවුන්ගේ නවතම 5G නිෂ්පාදන ලෝකයට හඳුන්වාදීමට සැරසන මෙවැනි පසුබිමකයි.

මේ නවතම සිදුවීම හේතුවෙන් Huawei සමාගමට එල්ල වූ චෝදනා යලිත් කරළියට පැමිණෙමින් තිබෙනවා. කෙසේවෙතත් පොලන්තයේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත අතර එතෙක් මේ සඳහා Huawei සමාගම සම්බන්ධ ද, නැතිද යන්න ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත.