Huawei සහ Google සටනේ ඇත්ත පැත්ත

0
1017

තාක්ෂණික ලෝකයේ දැවැන්ත සමාගම් ද්විත්වයක් වන Huwaei සමාගම සහ Google සමගම අතර තිබූ සහයෝගීතාව පළුදු වීම හේතුකොටගෙන මේ වනවිට Google සමාගම විසින් ඔවුන්ගේ සියළුම සේවාවන් Huawei සමාගම හට ලබාදීම නවතා තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ තවත් තාක්ෂණික සමාගම් කිහිපයක්ම Huawei සමග එක්ව කටයුතු කිරීම නවතා තිබෙනවා. ඒ අනුව ඇමරිකාවේ සහ චීනයේ මෙතෙක් පැවති සීතල වෙළඳ යුද්ධය දැඩි වී තිබෙනවා.

ඇත්තටම මේකට හේතුව මොකද්ද ?

Image Copyright: Grow from Acorns

Google සමාගම කියන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ සමාගමක් තවත් වවිදිහකින් කියනවානම් Google කියන්නේ ඇමරිකානු සමාගමක්, එතකොට Huawei කියන්නේ චීනයේ සමාගමක් එසේත් නැතිනම් චීන සමාගමක්. මෙම සමාගම් දෙකම ලෝකයේ ප්‍රබල රටවල් ද්විත්වයක ඇති සමාගම් දෙකක් වීම ඉහත ගැටළුවට සෘජුවම බලපා තිබෙනවා.

ඇමරිකාව සහ චීනය අතර තිබෙන විරසකය ඈත ඉතිහාසයකට දිවෙනවා, එම විරසකය දැනටත් ලෝකයේ කව්රුත් දන්න ප්‍රසිද්ධ රහසක්. එකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ලෝකයේ බලවත්ම රාජ්‍ය එහෙමත් නැතිනම් ලෝකයේම පාලනය තමන් අතට ගැනීමට මේ රටවල් දෙකම නොයෙකුත් ආකාරවලින් පුරා වසර ගණනාවක් තිස්සෙම විශාල තරඟයක යෙදෙනවා.

Image Copyright: ccn.com

ඇමරිකාවේ සහ චීනයේ ඇති මෙම තරඟය ලෝකයේ සෑම අංශයකම තිබෙන බව අපිට කල්පනාකාරීව බැලුවොත් දැකගන්නට පුළුවන්. තාක්ෂණය කියන කාරණාවේදී ද මොවුන්ගේ මෙම තරඟය මෑත කාලයේදී ඉතා දැඩි වූ බවක් කාටත් නොරහසක් , උදාහරණයක් වශයෙන් ඇමරිකාව තුළ ඇති Huawei නිෂ්පාදන මඟින් ඇමරිකාවේ රහස් තොරතුරු චීන රජය ලබගන්නේයැයි චෝදනාවක් යටතේ ඇමරිකාවේදී කිහිප අවස්ථාවකදීම Huawei සමාගමේ නිෂ්පාදන තහනම් කිරීමකට ලක් වෙනවා.

ඉන් නොනැවතුණු ඇමරිකානු රජය විසින් මෙම ගැටුමේ උච්චතම අවස්ථාව වශයෙන් ඊයේ දිනයේදී එනම් 2019-05-20 දින Huawei දුරකථන සඳහා භාවිතා කරනුලබන Android ඇතුළු සියලුම Google සේවාවන් අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

උදා:- Google Chrome ,Youtube ආදී සේවාවන්.

සැයු:- Google සමාගම විසින් Twitter පණිවුඩයක් මඟින් පෙන්වාදෙන්නේ, දැනට වෙළදපොළේ ඇති සියලුම Huawei දුරකථන වලට Google සේවාවන් ලබාදෙන බවට සඳහන් කර සිටිනවා, නමුත් ඒ පිළිබඳව පැහැදිළි තීරණයක් තවමත් දැකගැනීමට නැත.

Huawei ඇත්තටම ඇමරිකාවට අභියෝගයක්ද ?

Image Copyright: witchdoctor.co.nz

Huawei සමාගම දැනට දුරකථන නිෂ්පාදන ලෝකයේන්ම දෙවෙනියට වැජබෙන සමාගමයි. Samsung සමගම දැනට පළවෙනි ස්ථානය හිමිකරගෙන තිබෙන අතර තුන්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ Apple සමාගමයි. ඒ අනුව බලන විට Huawei සමාගම විසින් ඉතාමත් කෙටි කාලයකින් දුරකථන වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සමත් වී තිබෙන අතර තව කෙටි කාලයකින් Huawei සමාගම විසින් තමන් සතු දුරකථන වෙළඳපොළ ඒකාධ්කරයක් බවට පත් කරගැනීමට ද පුළුවන්.

මෙම හේතුව නිසා Huawei සමාගම Google සමාගමේ නිෂ්පාදන වලට දැඩි අභියෝගයක් වී තිබෙනවා. එම නිසා Google නිෂ්පාදන Huawei සමාගමට ලබාදීම තහනම් කර ඇති බවටත් සැක පළ කල හැකිය,

තවද චීනය තුළ වෙනත් රටවල් වල නිෂ්පාදිත බොහෝ තාක්ෂණික උපාංගයන් සහ තාක්ෂණික මෙවළම් භාවිතා නොකරන අතර විශේෂයෙන්ම Apple හැරුණු විට ඇමරිකාව තුළ නිෂ්පාදිත බොහෝ තාක්ෂණික නිෂ්පාදනයන් චීනය තුළ භාවිතය නොකරයි. උදා:- චීනය තුළ Google , Facebook සහ Windows ආදී නිෂ්පාදන භාවිතා නොකරයි, ඒ වෙනුවට චීනය විසින්ම නිර්මාණය කරන ලද විකල්ප නිෂ්පාදනයන් භාවිතා කරනවා. එමනිසා ඇමරිකාව තුළ Huawei නිෂ්පාදන තහනම් වීමට මෙයද හේතුවක් වීමට හැකිය.

Image Copyright: theneweconomy.com

Huawei සමාගම විසින් මෙම තහනම් කිරීම සම්බන්දයෙන් ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ ඔවුන් විසින් සියලුම Huawei දුරකථන සහ Huawei නිෂ්පාදන සඳහා ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නුදුරේදීම හඳුන්වාදීමට ඔවුන් සුදානමින් සිටින බවයි. එම මෙහෙයුම් පද්ධතිය “HongMeng OS ” යන නමින් නුදුරේදීම වෙළඳපොළට නිකුත් කරනු ඇති බවට නොයෙකුත් පුවත් මේ වනවිට අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතින අතර නුදුරේදීම Huawei නිෂ්පාදන වලට ආවේණික වූ නව මෙහෙයුම් පද්ධතියක් වෙළඳපොළට පැමිණීමට බොහෝ ඉඩකඩ පවතිනවා.

ලංකාවේ Huawei ආයතනය මේ ගැන මොකද කියන්නේ?

කෙසේ වෙතත් මේ පිළිබඳව Huawei Sri Lanka ආයතනයෙන් අප කළ විමසීමකදී ඔවුන් මේ ආකාරයට ප්‍රතිචාර දැක්වුවා.


“Huawei සමාගම විසින් සිය පරිශීලකයින්ගේ සහ තාක්ෂණික කර්මාන්තයේ යහපත උදෙසා විවෘත මෙහෙයුම් පද්ධති සමග සමීපව කටයුතු කර තිබේ. දැනට සිය පරිශීලකයන් විසින් භාවිතා කරනු ලබන සහ විකිණීමට සුදානම් කර ඇති සියලුම Huawei ජංගම දුරකථන සහ ටැබ්ලට් සදහා සියලුම ආරක්ෂක යාවත්කාලින කිරීම් සහ අලෙවියෙන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබා දීමට Huawei සමාගම කටයුතු කර තිබේ. තවද ගෝලීයව සියලුම පරිශීලකයන් සඳහා ඉතා හොඳ අත්දැකීමක් ලබා දීම සඳහා ඉදිරියේදී Huawei සමගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනගනු ඇත. ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ දැනට පවතින Huawei ස්මාර්ට්ෆෝන් සඳහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවට Huawei සමාගම සහතික වේ. “

කෙසේ නමුත් Huawei සමාගම විසින් ඔවුන්ගේ මිලියන ගණනක් වූ විශාල භාරිභෝගිකයන් වෙනුවෙන් නිසැකවම ඉතාමත් ඉක්මනින් පිළියම් සුදානම් කරණු ඇති අතර ශ්‍රී ලංකාව තුලත් Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව පළවන අසත්‍ය තොරතුරු  සාවධානව විමසා බැලීම තාක්ෂණික ලෝකයේ සැරිසරන ඔබගේ යුතුකමකි.