පරිසර හිතකාමී ත්‍රීවිලරයක් සාදා ලොව හෙල්ලූ අපේ තරුණයා

ලෝකයේ පරිසර දුෂණය වීම නාගරිකරණයත් සමඟ අතීතයේ සිට මේ මොහොත දක්වා සිදුවෙමින් පවතින දෙයක්, මේ පරිසර දුෂණය අවමකරන්න ලෝකයේ සෑම රටක්ම නොයෙකුත් දේවල් සිදුකරනවා. ඒ අතරින් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිෂ්පාදනය සහ ඒ හා සබැඳි සොයාගැනීම් බහුලව දැකගන්න පුළුවන්.

පරිසර දුෂණය වළක්වන්න නොයෙකුත් දේ සිදුකරන මේ වකවානුවේ ලංකාවේ අපේ තරුණයෙක් විසින් ඉලෙක්ට්‍රොනික ත්‍රිවිලර් පරිවර්තකයක් (Converter) නිර්මාණය කර තිබෙනවා. මෙමඟින් සාමාන්‍ය ත්‍රීරෝද රථයක් ඉලෙක්ට්‍රොනික් ත්‍රීරෝද රථයක් බවට පත් කිරීමට පුළුවන්. අද මේ ලිපිය ඒ ගැනයි,

ඉලෙක්ට්‍රොනික් ත්‍රිවිලර් Converter එක නිර්මාණය

Image Copyright: UN Environment

ඉලෙක්ට්‍රොනික් ත්‍රිවිලර් Converter එක ලිතියම් අයන් (Li-Ion) බැටරි යොදාගෙන නිර්මාණය කර තිබෙන අතර මෙමගින් සාමාන්‍ය ත්‍රිරෝද රථයක් ඉලෙක්ට්‍රොනික් ත්‍රිවිලර් රථයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. මෙය විශේෂ වන්නේ මෙම බැටරිය නැවත නැවත ආරෝපණය කළ හැකිවීමයි.

නමින් “සසිරංග ද සිල්වා” වන මෙහි නිපැයුම්කරු වෘතියෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ Mechanical Engineering පීඨයේ කථිකාචාර්යවරයෙක්. මොහු මෙම නිපැයුම සිදු කිරීමට ත්‍රිවිලර් රථ යොදාගෙන තිබීම ඉතාමත් කාලෝචිතයි. මන්දයත් මධ්‍යම පාන්තික රටවල්, විශේෂයෙන් ආසියාතික සහ අප්‍රිකානු කලාපීය රටවල එදිනෙදා කටයුතු සඳහාත් වෘතිමය කටයුතු සඳහාත් බහුලව යොදාගන්නා වාහනය ත්‍රිවිලර් වීම නිසා මෙම Electric Converter මඟින් ඔවුන්ට ආර්ථිකමය වාසියක් ලැබිය හැකි වීමයි. මෙය ලංකාවට තවත් විශේෂ වන්නේ මිලියනයකට ආසන්න ත්‍රිරෝද රථ රියදුරන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටීමයි.

මෙම නව සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය(UN) විසින් ඇ.ඩො 20,000 ක මුදලක් සහ ව්‍යාපාර සහ මොහු වෙත අළෙවිකරණය පිලිබඳ පුහුණුවක්ද ප්‍රදානය කර ඇති අතර එය ” Asia-Pacific Low-Carbon Lifestyles Challenge ” වැඩසටහනට අනුබද්ධව සිදුකර ඇත. මෙම වැඩසටහන මඟින් දැනට පරිසර දුෂණය අවම කිරීමට හැකි , නාස්තිය අවම කිරීමට හැකි සහ බලශක්තිය ඉතිරි කරගත හැකි අදහස් හෝ නිර්මාණ ඇගයීමට ලක් කිරීම සිදුකරනු ලබනවා.

මේ සොයාගැනීම ලංකාවට කොහොම බලපායි ද …?

Image Copyright: Ozy

2008 වසරේ ශ්‍රී ලංකා රජය විසින් two-stroke ත්‍රිරෝද රථ ආනයන තහනම් කරන ලද්දේ එමඟින් සිදුවන දැඩි පරිසර හානිය නිසාවෙන් වුවත් මෙම තහනමට පෙර ගෙන්වූ two-stroke  ත්‍රිරෝද රථ අසන්න වශයෙන් ලක්ෂ 3 ක් දැනටත් ලංකාවේ දක්නට තිබෙන බව වාර්තා වෙනවා. මෙම නිපැයුම මඟින් එම ත්‍රිරෝද රථ පරිසර හිතකාමී ආකාරයට සකස්කිරීමට හැකියාව ඇත.

මෙහි නිපැයුම්කරු පවසන පරිදි ඔහු විසින් මුහුණ පා සිටින විශාලම ගැටළුව මෙම Converter එක රුපියල් ලක්ෂ 3 – 4 පමණ මුදලකට ත්‍රිරෝද රථ රියදුරෙකුට අළෙවි කිරීමට සිදුවීමයි. එයට හේතුව වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම Converter එක සඳහා යොදාගන්නා Li-Ion බැටරි මිලෙන් අධික වීමයි. එහෙත් මොහු විසින් පවසන පරිදි මෙම නව නිපැයුම මඟින් ත්‍රිරෝද රථ රියදුරෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඉතිරි කරගත හැකි අතර එමඟින් විශාල ආර්ථික වර්ධනයක් ද ලබාගත හැකියි.

මෙම නව සොයාගැනීම මඟින් ත්‍රිරෝද රථ රියදුරන්ටත් ලෝකවාසී ජනතාවටත් ආර්ථිකමය සහ සෞඛ්‍යමය වශයෙන් ළඟාකරගත හැකි යහපත් ප්‍රථිපල සහ මෙහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබාගැනීමට ත්‍රිරෝද රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් අනාගතයේදී පැවැත්වීමට බලාපොරොත්තුවන බව මෙහි නිපැයුම්කරු වැඩි දුරටත් කියා සිටිනවා.

වායු දුෂණය නිසා ආසියානු පැසිෆික් කලාපයේ වාර්ෂිකව සිදුවන මිලියන 4 පමණ ජීවිත හානි වැලක්වීමට මෙම නව නිපැයුම තුලින් විශාල මෙහෙවරක් සිදු වේයැයි බලාපොරොත්තු තබාගැනීමට හැකි අතර මෙම නව සොයාගැනීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලුම දෙනාට ආඩම්බර විය හැකිය.