බෙහෙත් බොන්න හොර අයට, ස්මාර්ට් බෙහෙත් පෙති මෙන්න

අපි කිසියම් රෝගයක් සඳහා ඖෂධයක් ලබා ගැනීමේදී එම ඖෂධ නියමිත වෙලාවට ගැනීම රෝග සුව වීමට බලපාන ප්‍රධාන කාරණාවක්. එහෙත් බෙහෙත් ගැනීමට, විශේෂයෙන් බෙහෙත් පානය කිරීමට අකමැත්තක් දක්වන බොහෝ පිරිස් අපිට දැක ගැනීමට පුළුවන්.

ඇත්තටම ඖෂධයක් ගැනීම අතපසු වුනොත් ඒ ගැන මතක්කරගන්න ක්‍රමයක් තිබුනොත් සහ වෛද්‍යවරයාට රෝගියා නිවැරදිව බෙහෙත් ලබාගන්නවාද, නැතිද පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකියාව තිබේනම්, එය වෛද්‍යවරුන්ටත් රෝගීන්ටත් ලොකු පහසුවක් වෙනවා.

මොකක්ද මේ “Smart Pills”

“Digital Medicine” සමාගමක් වන Proteus සමාගම විසින් මේ සඳහා විසඳුමක් සොයාගෙන තිබෙනවා. පිළිකා රෝගීන් සඳහාම යොදාගන්නට නියමිත මෙය “Smart Pills” ලෙසින් හඳුන්වනු ලබනවා. මෙය තාක්ෂණික ඖෂධ පෙති වර්ගයක් වන අතර මෙම පෙති තුල ඉතා කුඩා සංවේදක (Sensor) අඩංගු වෙනවා. මෙමගින් රෝගියා ඖෂධ ලබත්තාද, නැතිද යන්න පිළිබඳ වෛද්‍යවරයාට දැනගැනීමට හැකියාව තිබෙනවා. මෙවැනි ක්‍රම මෙම සමාගම විසින් මීට ඉහතදී වෙනත් රෝග සඳහා අනුගමනය කර ඇති අතර “Smart Pills” පිළිකා රෝගය සඳහාම යොදා ගැනීම සුවිශේෂී කාරණාවක්.

Image Copyright: Business Insider

මෙහිදී රෝගියාගේ උදරයේ පිටතින් ක්‍රෙඩිට් කාඩ් පතක ප්‍රමාණයේ කුඩා උපකරණයක් අලවනු ලබන අතර එමගින් “Smart Pills” තුල ඇති සංවේදක සමඟ සම්බන්ධ වී වෛද්‍යවරයාට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සිදුකරනවා. “Smart Pills” ක්‍රම ද්විත්වයකට ලබාගත හැකි අතර, සංවේදක ඇලවූ පෙති ලබාගැනීම එක ක්‍රමයක් ලෙසින් සහ සංවේදක සහිත ස්මාර්ට් පෙති ලබාගැනීම දෙවැනි ක්‍රමය ලෙසින් හැඳින්විය හැකිය.

මෙම ක්‍රමය සඳහා එතරම් කැමැත්තක් නොදක්වන පිරිස් සිටින නමුත් මෙම ක්‍රමය මගින් රෝගියා නිවැරදිව බෙහෙත් ලබාගත්තාද, නැතිද යන්න පිළිබඳව වෛද්‍යවරයාට තොරතුරු ලබාගැනීමට සහ එමඟින් නිවැරදිව රෝගය සුව කරගැනීමට අවශ්‍ය දෑ සිදුකරගෙන යාමට හැකි බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. මෙවැනි නවතම ක්‍රම මඟින් දැනට සුවකිරීමට අපහසු රෝග පහසුවෙන් සුවකරගැනීමට අනාගතයේදී හැකියාව ලැබේ යැයි අනුමාන කල හැකිය.