Facebook අතහරින්න හේතු 4ක්

, , 3 Comments

Facebook.. ෆේස්බුක් එහෙමත් නැත්නම් මුහුණු පොත, දැන් දැන් බොහෝ දෙනෙකුගේ ජීවන අංගයක් බවට පත් වී හමාරයි. ඒත් දැන් දැන් ෆේස්බුක් වෙත එකතු වන යම් යම් අලුත් අංග, ෆේස්බුක් අනවශ්‍ය ලෙස භාවිත වීම සහ විවිධ පුද්ගලිකත්වය (Privacy) සම්බන්ධ ගැටළු වැනි හේතූන් නිසා ෆේස්බුක් වෙත වැඩි පිරිසකගේ අප්‍රසාදය යොමුවෙමින් පවතින කාලයකි මේ. ඉතින් අද අපි කථාකරන්නට යන්නේ ෆේස්බුක් සමාජ ජාලයෙන් ඉවත් වීම, 2014 දී ඔබ කරන හොඳම දේ වීමට හේතු 4ක් ගැනයි.

facebook-privacy2-1

1. ඔබට නැවත යම් පුද්ගලිකත්වයක් ලැබීම.

ෆේස්බුක් privacy settings පදනම් වන්නේ එක් එක් post එකෙන් post එකට වෙනස් වන පරිදියි. එ නිසා සමහර විටක එක් පුංචි අතපසුවීමකින් හෝ අමතක වීමකින් ඔබට අනවශ්‍ය පුද්ගලයෙකුට ඔබේ රහසක් හෝ රහස් ඡායාරූපයක් හෙළි විය හැකියි. ඔබේ ඡායාරූප දැකීමට ඔබ අකමැති අයෙක් සතුව ඔබේ ඡායාරූප භාගත (download) කරගෙන තබාගන්නවා විය හැකියි. ඒ වගේම පසුගිය ඔක්තෝබරයේ නිකුත් වුනු Graph Search නිසා ඔබ නොහඳුනන කෙනෙකුට පවා ඔබව පහසුවෙන් සොයාගැනීමට ඉඩ විවර වේ.

ඒ වගේම ඔබේ පුද්ගලික තොරතුරු ෆේස්බුක් සමාගමේ ලාභ ඉපැයීම සඳහාද භාවිත වන බව ඔබ දන්නවාද? ඔබේ පුද්ගලික තොරතුරු ඔබ හරහාම එකතු කර ඒවා වෙළඳ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමට ෆේස්බුක් කටයුතු කරනවා. මේ අතර ඔබ සිටින ස්ථානය පවා මේ අනුව වෙළඳ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් අපිට මොකෝ කියලා. ඒත් හිතන්න මිලියන ගණනකගේ පුද්ගලික තොරතුරු ඉදිරියේදී මොන මොන දේ සඳහා භාවිත වෙන්නට පුළුවනි ද?

ඒ අනුව ෆේස්බුක් ගිණුම අවලංගු කිරීමෙන් ඔබට ඔබේ පුද්ගලික තොරතුරු ලෝකය වෙත මුදාහැරීමෙන් වැලකීමට ඔබට හැකියාව ඇත.

reach_out

2. ඔබට යම් පහසුවක් දැනීම.

අන්තර්ජාලය හරහා මිතුරන් පවුලේ අය සමඟ සම්බන්ධ වීම ඔබේ ජීවිතයට විනෝදාත්මක මෙන්ම ජීවන තත්වය උසස් කරන සාධකයක් ලෙස පසුගිය කාලයේදී හඳුන්වනු ලැබුවා. ඒත් මිචිගන් සරසවිය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු වන්නේ නිතර නිතර ෆේස්බුක් තුල කාලය ගතකරන අය ආතතිය වැනි රෝග සඳහා වැනි නැඹුරුවක් ඇති බවයි.

ඒ වගේම Utah Valley විශ්ව විද්‍යාල මඟින් කරන ලද අධ්‍යනයකදී, ෆේස්බුක් භාවිත කරන්නන් බොහෝවිට තමන්ගේ ජීවිතය පිළිබඳව අසතුටෙන් සිටින බවත්, අනෙක් අයගේ ජීවිත තමන්ට වඩා සතුටින් ගෙවෙන බවත් සිතීමට පෙළඹෙන බවත් හෙළිවී තිබෙනවා. ( දිනපතාම දවස පුරාම වාගේ ෆේස්බුක් හා අන්තර්ජාලයේ සැරිසරන අයෙකු හැටියට පුද්ගලිකව මා වුවත් ඒ සිදුවීම අත්දැක තිබෙනවා )

ෆේස්බුක් අතහැරීමෙන් ඔබට ඔබේ සත්‍ය ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයේ ඡායාරූපයක් සමඟ සංසන්දනය කිරීමට ඇති අවස්ථා අවම කරනවා .

productivity

3. ඔබේ කාර්යක්ෂමතාව වැඩිවීම.

ෆේස්බුක් ආරම්භ වූයේ ඔබේ හිතමිතුරන් සමඟ සම්බන්ධවීමේ මාධ්‍යයක් ලෙස වුවත් දැන් දැන් එය අනවශ්‍ය පරිදි භාවිත කිරීම නිසා බොහෝවිට ඔබේ අවධානය වෙනත් කාර්යක් සඳහා සම්පූර්ණයෙන්ම යොමු නොවීමටත්, වැඩ ප්‍රමාද වීම හෝ අතපසු වීමටත් හේතු වන බව නෝර්වේ හි සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඇත්තටම ඒ ගැනනම් සමීක්ෂණ අවශ්‍ය නැහැ. ඔබටත් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ඇති.

විවිධ සමීක්ෂණ හරහා හෙළිවන පරිදි බොහෝ පිරිසක් සිය කාර්යාලයේ වැඩ කරන අතරතුරේ දී, අධ්‍යාපන කටයුතු වල යෙදෙන අතරතුරේ දී වැනි වටිනා කාලය නිකරුනේ ෆේස්බුක් සඳහා වෙන් කිරීමට පෙළඹී ඇති අතර Michael Fitzpatrick නම් අන්තර්ජාල සමීක්ෂණ සිදුකරන තැනැත්තා විසින් හෙළිකරන පරිදි පසුගිය වසරේ ඇමරිකාවේ පමණක් $ බිලියන 28ක පමණ අති විශාල පාඩුවක් ෆේස්බුක් නිසා සිදුව තිබෙනවා.

ෆේස්බුක් ගිණුම අවලංගු කර දැමීමෙන් ඔබට වෙනත් ප්‍රයෝජනවත් කාර්යක් සඳහා වේලාව ඉතිරිකර ගත හැකි වනවා.

 

employee-productivity

4. ඔබේ රැකියාව සුරක්ෂිත වීම.

ෆේස්බුක් දැන් බොහෝ දෙනෙකුගේ දින චර්යාවේ අංගයක් වෙලා. ඔබ නොසතුටෙන්ද? – ෆේස්බුක් ස්ටේටස් එකක්. ඔබ කෙනෙක් සමඟ තරහෙන්ද? – ෆේස්බුක් ස්ටේටස් හෝ ෆෝටෝ එකක්. මේ විදියට ඔබ කොයිතරම් නම් දේ share කරන්නට ඇත්ද? ඔබට ඒ share කළ දේවල් අමතක වෙලා ගියත් ඒ දේවල් ඔබ නොදැනුවනත්වම ඔබේ ෆේස්බුක් මිතුරන් වෙනුවෙන් විවෘත විය හැකියි. සමහර විට ඒ දේවල් ඔබ ගැන සොයන කෙනෙකුට ඔබගේ දුර්වල ස්ථානයක් ප්‍රසිද්ධියේ හුවා දැක්වීමක් වෙන්නට පුළුවනි.

ඒත් මේ සිදුවීමේ තවත් පැත්තක් ලෙස ඔබේ කාර්යාලයේ ඔබට ඉහල නිළධාරීන්ගේ අවධානයට ඔබගේ ෆේස්බුක් ගිණුම පත්වීම හැඳින්විය හැකියි. ප්‍රසිද්ධියේ තමන් සේවය කරන ස්ථානයට හෝ එහි ඉහළ නිළධාරින් විවේචනය කිරීමෙන් රැකියා අහිමි වූ ගණන සුළුපටු නොවේ. ඔබ සමහර විටෙක ඒ posts කාර්යාලයේ අයට නොපෙනෙන්ට දැමුවාවන්නට පුලුවනි. ඒත් යම් හෙයකින් ඔබට අමතක වී සාමාන්‍ය මිතුරන් අතරේ කාර්යාලයේ මිතුරකු සිටියොත්. සිදුවිය හැකි දේ ගැන කියන්නට අවශ්‍ය නැහැ නේද?

ඒ වාගේම දැන් දැන් බොහෝ ආයතන සිය ආයතනයට අලුතින් සේවකයින් බඳවා ගන්නා විට ඔවුනගේ ෆේස්බුක් ගිණුම පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීමට පෙළඹි ඇති බවත් සමීක්ෂණ තුලින් හෙලිව තිබෙනවා.

ෆේස්බුක් වෙතින් ඈත් වීමෙන් ඔබට ව්‍යාපාරික ලෝකයේ ඉහළට යන ඉනිමඟෙන් ඇදවැටීමේ අවස්ථා අවම වනවා.

 

3 Responses

Leave a Reply