ඔබේ කණ තව දුරටත් ශ්‍රවනය සදහා පමණක්ම නොවේ

0
1218

පෙනෙන විදියට තවමත් නිෂ්පාදකයින්ට ජංගම දුරකථනය unlock කරගැනීම සදහා එක සම්මුතියකට එලබෙන්නට නොහැකි වෙලා වගේ. මුලින්ම මේ සදහා යොදා ගත්තේ කුඩා PIN අංකයක්, පසුව ඇඟිලි සලකුණු කියවීමේ ඉදන් ඇස යොදාගෙන unlock කිරීම දක්වා පරාසයක පැතිරුණා. දැන් Amazon සමාගමට අවශ්‍යය වෙලා තියෙනවා ඔබේ කණ යොදා ගෙන මෙම කාර්යය සිදු කරන්නට. ඒ සදහා Amazon සමාගම නොබෝදා Patent බලපත්‍රයක්ද ලබා ගත්තා. සාමාන්‍යයෙන් මිනිසාගේ ඇඟිලි සලකුණ මෙන්ම කණෙහි වක්‍ර වීමේ ස්භාවයත් පුද්ගලයාට අනන්‍යය වෙනවා.

Southampton සරසවියේ පරිගණක විද්‍යාඥ Mark Nixon මහතා 2010 වසරේදී පවසා තිබුනා, පුද්ගලයෙකු උපදින විටම කණ සම්පූර්ණයෙන්ම හැඩගැසී ඇතිබව සහ පුද්ගලයෙකු හදුනා ගැනීමට එය භාවිත කල හැකි බව.

Amazon සමාගමේ Patent බලපත්‍රයට අනුව ජංගම දුරකථනයෙහි හිමිකරු දුරකථනයෙහි ඉදිරිපස කැමරාව යොදා ගෙන තමාගේ කන් දෙකෙහිම ඡායාරූප දෙකක් ලබා ගෙන එය දුරකථනයෙහි පුද්ගලික ගිණුමට ඇතුලත් කල යුතුය. දුරකථනය එහි සංවේදකයන් යොදා ගෙන භාවිතකරු කණ අසලට දුරකථනය ගෙන එනවාදැයි නිශ්චය කරනවා. පසුව දුරකථනයෙහි ඉදිරිපස කැමරාවෙන් ඡායාරූපයක් ලබාගෙන එය පෙර භාවිතකරුගේ පුද්ගලික ගිණුමේ ඇති ඡායාරූප හා සසදනවා. මෙම තාක්ෂණය දුරකථනය unlock කිරීමට පමණක්ම නෙමෙයි, තව දුරටත් ජංගම දුරකථනය භාවිත කිරීම පහසු කරවන්නටත් මෙය යොදා ගන්න පුළුවන්ලු. උදාහරණයක් විදියට, දුරකථනය භාවිතා කරන්නා එය රදවාගෙන සිටින්නේ ඔහුගේ හෝ ඇයගේ වම් කණ ආසන්නයේ නම් ඔහු එය වම් අතින් අල්ලාගෙන සිටින බව හදුනා ගත හැකියි. ඒ අනුව Display එකේ input buttons අවස්ථාවට අනුව සකසන්නට හැකියාව තිබෙනවා.

දුරකථනය unlock කරන්නට කණ උපයෝගී කර ගැනීම සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනවත් වන බව නම් පෙනෙන්නට නැහැ. මන්දයත් භාවිතකරුට දුරකථනය unlock කරන්නට අවශ්‍යය වන සෑම විටම එය කණ අසලට ගෙන ඒමට සිදු වන නිසයි. ඇඟිලි සලකුණ හෝ ඇස යොදා ගෙන unlock කිරීම වඩා පහසු වන්නේ සාමාන්‍යයෙන් දුරකථන භාවිත කරන ඉරියව්වේ සිටම එය unlock කර ගැනීමට ඇති හැකියාව නිසයි. ඇමතුමක් එන විටනම් unlock කරගන්නට මෙම ක්‍රමය ප්‍රයෝජනවත් වන්නට පුළුවන්. නමුත් බොහෝ දුරකථන දුරකථනය unlock නොකර ඇමතුමකට පිළිතුරු ලබා දීමට ඉඩ දෙනවා. අනික අද වන විට බොහොමයක් අය Bluetooth hands-free headsets භාවිතා කරනවනේ.

කෙසේවෙතත් Amazon සමාගමේ මේ වෑයම ජංගම දුරකථනය භාවිතය තවදුරටත් පහසු කරවීමයි. භාවිතා කරන්නා දුරකථනය ඔසවාගෙන සිටින අතට අනුව onscreen input buttons එහා මෙහා කිරීම විශාල Display එකක් සහිත දුරකතනයක් භාවිතා කිරීම වඩාත් පහසු කරවන්නක්. අපිට අනුමාන කල නොහැකි තවත් කාර්යයන් සදහා ඔවුන් මෙය යොදා ගන්නවා වන්නට පුළුවන්. නමුත් මේ ආකාරයේ personalizations නම් ඇඟිලි සලකුණ හරහාත් සිදු කරන්නට පුළුවන්.

කණ යොදාගෙන unlock කිරීම අලුත්ම සංකල්පයක් නෙමෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී Yahoo සමාගමත් මෙවැනිම දෙයක් දියුණු කරමින් සිටින බව එළිදරවු කලා. නමුත් ඒ කැමරාව යොදා ගැනීම වෙනුවට දුරකථනයෙහි සම්පූර්ණ Touchscreen Display එකම යොදාගෙනයි. නමුත් ඔවුන් Amazon මෙන්ම කාර්යයක් සිදු කරනවාද යන්න පැහැදිලි නැහැ. එමෙන්ම Amazon සමාගමද මේ තාක්ෂණය ඔවුන්ගේ අනාගත දුරකථන වලට යොදා ගනීවිද යන්න පිලිබදවත් කිසිවක් පැවසිය නොහැකියි.

 

මේ වීඩියෝවත් නරඹන්න,