ඔබේ කාර්යාලයේ වෙහෙසකර දවසක් අවසානයේ ඔබ බොහෝවිට ආතතියට පත්වී සිටිනවා වෙන්න පුළුවන්, ඉතින් මෙවැනි ආතතියක් සමඟ නිවසට පැමිණි විට ඔබේ සමීපතමයන්ටත් මේ ආතතිය දැනෙන්නට පුළුවන්. ඔබේ කාර්යාලයේ වැඩ නිසා ඇතිවෙන ආතතිය වැඩිවෙන තරමට ඔබේ සමීපතමයන්ටත් එම ආතතිය දැනෙන ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.
ඔබේ ආතතිය වෙනත් දෙයකට යොමුකරන්න

ඔබේ ආතතිය ඉහල මට්ටමකට පැමිණි විට එය යටපත් කරගැනීම සඳහා මනස සුවපත් වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
කාන්තා මානසික තෙරපිවරියක් වෙන Heidi McBain (MA, LMFT, LPC, PMH-C) මහත්මිය කියන විදියට භාවනා කිරීම, දිනපොතක් ලිවීම, ව්‍යායාම කිරීම හෝ කියවීම වගේ ඔබට ගැලපෙන, ඔබේ ආතති මට්ටම පහලට ගේන්න පුළුවන් ක්‍රියාකාරකමක යෙදීම මඟින් මෙම පීඩනය අඩු කරගැනීමට හැකිවෙන අතර මෙවැනි ක්‍රියාකාරකම් ඔබේ ආතති මට්ටම් පහලට ගෙන්න උදව් වෙනවා වගේම ඔබේ නිර්මාණශීලී බව වර්ධනය කරන්නත් උදව් වෙන්න පුළුවන්.
ඔබේ සම්බන්ධතාවය අගයකරන්න

මනෝ උපදේශකයෙක් වගේම Life Coach කෙනෙක් වෙන “Monte Drenner” මහතා කියන විදියට ඔබේ සමීපතමයන් එක්ක ඔබේ ආතතිය ගැන කතා කිරීම ඔබේ ආතතිය අඩුවීමට හේතුවක්.
Drenner මහතා කියන විදියට ඔබේ ආතතිය නිසා ඔබේ සමීපතමයින්ට සැරෙන් කතා කිරීම සහ ඔවුන්ව නොසලකා හැරිම නිසා ඔවුන්ට විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. එනිසා ඔහු යෝජනා කරන්නේ ඔබේ සමීපතමයින්ට ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න කියලයි. එවිට දිර්ගකාලීනව ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් එකක් වෙන නිසාම ඔබේ ආතතිය අඩුවීමට එය හේතුවක් විය හැකි.
ඔබට ප්‍රමුඛත්වය දෙන්න

වෙහෙසකර දිනයක් හෝ සතියක් අවසානයේදී ඔබට ඉන් මිදීමට කරන්න අවශ්‍ය මොනවාද කියා තීරණය කර ඒ දේවල් ඔබේ ජිවිතයට එකතුකරගන්න.
ව්‍යාපාර උපදේශිකාවක් වන “Linda J Carpenter” (Phd) මහත්මිය කියන විදියට මේ දේවල් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. කෙනෙක්ට තමන් ආදරය කරන අය නැත්නම් යාලුවෝ එක්ක කාලය ගත කරන එක, දුර සංචාරයක් යන එක, නැත්නම් තනියම ගෙදරට වෙලා TV බලන එක වුනත් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් සතුටෙන් ඉන්න කෙනෙකුට ඔවුන්ගේ සමීපතමයින් එක්ක සුහදව ඉන්න වගේම ඔවුන්ගේ රැකියා ස්ථානයේ වැඩත් හොඳින් කරන්න පුළුවන් වෙනවා.
ඔබට අවශ්‍ය දේ සාකච්ජා කරන්න

ඔබ ආතතියට පත්වී සිටින නිසාම ඔබ අවට සිටින අයට ඔබේ මනස කියවන්නට පුළුවන් කියා හිතන්න එපා.
ඔබට යම් ආතතියක් දැනෙන අවස්ථාවක තීරණ ගැනීම , වාද විවාද වගේ කටයුතු කිරීමට නොයන්න. මන්දයත් එමඟින් ඔබට සාර්ථක ලෙස, සුහදව එම කටයුතු කරගැනීමට නොහැකි වනු ඇත. එම නිසා හැකි තරමක් ඔබට සමීප කෙනෙකු සමඟ කතා කරන්න. මෙමඟින් ඔබේ පීඩනය අඩු කරගැනීමට හැකිවෙනු ඇති අතර හිතට යම් සහනයක් දැනෙනු ඇත.
තාක්ෂණික ලෝකයේ කාර්යබහුල ජීවන රටාවක නිරතව සිටින ඔබටත් ආතතියක් ඇති අවස්ථාවක එය සාර්ථකව පාලනය කිරීමට ඉහත කරුණු කිහිපය උපකාරී වේයැයි අපගේ මතය වේ.