Fastfix app එකෙන් නිවස අලුත්වැඩියා කරගමුද ?

0
111

ජලනල කාර්මික කටයුතුවල පටන් විදුලි රැහැන් අලුත්වැඩියාව දක්වාම නිවාස අලුත්වැඩියා කටයුතු පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වුණු මුල්ම app එක වන FASTFIX app එක දියත් කර තිබේ. ඒ, නිවාස අලුත්වැඩියා සේවා සපයන්නන් හා සේවාලාභින් මෙම app එක මගින්, ඒකරාශි කරමින් ශ්‍රී ලංකාව පුරාම පාරිභෝගිකයින් හට පහසු සේවාවක් සැලසීමේ අරමුණින් යුතුවය. සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ඇන්ටන් සමාගම හා අත්වැල් බැඳගනිමින් දියත් කෙරෙන මෙම FASTFIX app එක මේ වනවිටත් ජලනල අලුත්වැඩියා සේවාවන් වෙත ප්‍රවේශ වීමට පාරිභෝගිකයින් හට පහසු අවකාශයක් සලසා දෙමින් තිබේ. මෙමගින් පරිශීලකයින්ට ආසන්නයෙන්ම ඇති සේවා සපයන ස්ථාන පහසුවෙන් සොයා ගැනීමටත්, සිය අවශ්‍යතාව ඉටු කර දීමට වඩාත්ම සුදුසු සේවා සපයන්නා හා සම්බන්ධ වීමටත්, එමගින් වඩා තෘප්තිමත් සේවාවක් ලබා ගැනීමටත් හැකියාව සැලසේ. 

මෙම නවෝත්පාදන app එක version දෙකක් ලෙසින් නිර්මාණය කර ඇත. ඉන් එකක් පාරිභෝගිකයින් සඳහා වන අතර එහිම අනෙක් app එක සේවා සපයන්නන් සඳහාය. පාරිභෝගිකයෙකු තමා ආසන්නයෙන්ම ඇති සේවා සැපයුම්කරුවෙකු තෝරාගත් විටෙක, එම සේවා සැපයුම්කරුට තම app එක වෙත තක්ෂණික පණිවිඩයක් ලැබෙන අතර, app එකේ අභ්‍යන්තර ශ්‍රව්‍ය, දෘශ්‍ය ඇමතුම් ක්‍රම මගින් සේවාලාභියා හා සම්බන්ධ විය හැකිය. මෙම app එක දැනට ජලනල කාර්මික කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, විදුලි කාර්මික සේවා සපයන්නන්, වඩු කාර්මික සේවා සපයන්නන්, වායුසමීකරණ යාන්ත්‍රිකයන් සහ තවත් බොහෝ පුහුණු සේවා සපයන්නන්ගේ සේවය ලබා ගැනීම සඳහා FASTFIX සමාගම් සමග අත්වැල් බැඳ ගනිමින් සිටියි.  

මෙම app එකෙන් ඇති වීඩියෝ ඇමතුම් පහසුකම මගින් පරිශීලකයාට තම අවශ්‍යතාවය සේවා සැපයුම්කරුට පැහැදිලි කළ හැකි අතර, එය සුළු ගැටළුවක් නම් එය පාරිභෝගිකයා විසින්ම විසඳා ගත හැකි පරිදි අවශ්‍ය උපදෙස් ලැබේ. සේවාසපයන්නන් හට, සේවාලාභීන්ගේ ඉල්ලීම පරිදි අවශ්‍ය ස්ථානය වෙත ගොස්, අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කර දීමටද මේ හරහා හැකියාව පවතී. සේවා සපයන්නන්ට ඔවුන් සිටිනා ස්ථානය දැන ගැනීම පහසු කරලීම පිණිස පරිශීලකයින්හට තොරතුරු ගොනුවක් පවත්වා ගෙන යාමටද, දෙපාර්ශවයේම පහසුව පිණිස පැමිණීමේ වේලාවන් Scheduled කිරීමටත් හැකිවේ.

තවද, අළුත්වැඩියාවන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීම පරිශීලකයින් හට පහසු කරමින්, ළඟම ඇති ඇන්ටන් නිෂ්පාදන අලෙවිසැල සොයා ගැනීම සඳහා විශේෂාංගයක් ඇතුළුව තවත් විශේෂාංග මෙම යෙදවුමට එකතු කිරීමට අපේක්ෂිත අතර, ඉන් අමුද්‍රව්‍ය ඇණවුම් කර විශේෂ මිල ගණන් යටතේ මිලදී ගත හැකිය.

කොවිඩ් 19 වංසංගත  තත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පළමු කණ්ඩායම ලෙස දෛනික වැටුප් ලබන බොහෝ පිරිසකට සුවිශාල මුල්‍ය අර්බුදවලට මුහුණ දීමට සිදු විය. එලෙස සිය රැකියා අහිමි වූ පිරිසට මෙම යෙදවුම මගින් රැකියා අවස්ථාවන් සොයා ගැනීමට හා අඩුම තරමේ දෛනික ආදායම උපයා ගැනීමට හෝ අවස්ථාව සැලසේ. FASTFIX app එක ඔවුන් නිරතුරුවම කාර්යයෙහි නිරත කරමින්, සපයන සේවාවන්ගේ ගුණාත්මකභාවය අනුව, නිරන්තරයෙන් වැඩ සොයා ගැනීමට හැකියාව සලසා තිබේ. ඒ අනුව මෙම යෙදවුම රටෙහි බොහෝ පිරිසකට නැවතත් මූල්‍යමය අතින් ශක්තිමත් වීමට සුවිශාල දායතක්වයක් දක්වයි. 

FASTFIX හට සිය වෘත්තීකයින්ගේ කටයුතු හඳුනා ගැනීමටත් තවදුරටත් උසස් සේවාවන් සැලසීම සඳහා ඔවුන් දිරිගැන්වීමටත්, සේවාවන් අගය කළ හැකි විශේෂාංගයක්ද මෙම යෙදවුමේ පවතී. දැනට සේවාලාභීන් හා සේවා සපයන්නන් සඳහා ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මකව පවතින FASTFIX app එක Android Play Store මගින් ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම, iOS  සඳහා නවතම FASTFIX app එක ඉදිරි මාස කිහිපය තුළ එළිදැක්වීමටද නියමිතය.