Gamer.lk මෙරට පළමු අන්තර්-විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා තරගාවලිය සංවිධානය කරයි

, , Leave a comment

මෙරට වීඩියෝ ක්‍රීඩකයන්ගේ සමාජයවන Gamer.lk ශ්‍රී ලාංකේය ඉ-ක්‍රීඩාව නැවුම් මානයකට රැගෙන යමින් මෙරට ප්‍රථම අන්තර්-විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා තරගාවලියවන ඩයලොග් විශ්වවිද්‍යාලයිය ඉ-ක්‍රීඩා ශූරතාවලිය සංවිධානය කරයි.
ශ්‍රී ලාංකේය විදුලි සංදේශනය සහ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාවන ඩයලොග් මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි. මෙරට පුළුල්ම ආවරණය සහ 4G, හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් තුළින් වේගවත්ම අන්තර්ජාල පහසුකම ලබා දෙන ඩයලොග් එක්සියාටා සමාගම, අවම බාධාවකින් යුතුව මල්ටිප්ලේයර් ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් සඳහා විශිෂ්ටතම සබඳතාව පිරිනමයි. මල්ටිප්ලේයර් ඔන්ලයින් පද්ධතිය අධිවේගයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා gamer.lk සමග අත්වැල් බැඳ ගනිමින් ඩයලොග් සමාගම ක්ලවුඩ් ගේමිං සර්වර් ද ලබා දීමට කටයුතු කරයි.
පසුගිය වසරේදී සාර්ථකව නිම වූ ශ්‍රී ලංකා සයිබර් ක්‍රීඩා ජාතික ශූරතාවලියෙන් පන්නරය සහ ක්ෂේත්‍රයේ වේගවත් දියුණුව පිළිබඳ සැලකිල්ලට ගනිමින් Gamer.lk මෙම තරගාවලිය සඳහා සහභාගීවන ලෙස ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් හට ආරාධනය කර සිටි.
“අප සංවිධානය කරන ඉ-ක්‍රීඩා උළෙල සහ අපගේ සමාජයේ වේගවත් වර්ධනය නිසාම, ඩයලොග් විශ්වවිද්‍යාලයීය ඉ-ක්‍රීඩා ශූරතාවලිය තුළින් මෙරට ඉ-ක්‍රීඩාව විශ්වවිද්‍යාල මට්ටම දක්වා රැගෙන යාමට Gamer.lk තීරණය කළා. මෙම ක්‍රීඩාව සමග බැඳී පවතින උද්යෝගය සහ තරගකාරීබව ජාතික මට්ටමට ඔසවා තැබීම අපගේ අරමුණයි.” Gamer.lk ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජයතිලක මහතා සඳහන් කළේය.
අප්‍රේල් මස 23 සහ 24 දෙදින BMICH හිදී පැවැත්වෙන මෙම තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.
Call of Duty 4, DOTA 2, FIFA 16, Mortal Kombat X, Need for Speed සහ මොබයිල් ගේම්ස් ආදී විවිධ ක්‍රීඩා වර්ග යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක්-එක් ක්‍රීඩා ඉසවුව යටතේ දක්වන දක්ෂතාව මත ලකුණු පිරිනැමේ. එක්-එක් ඉසවුව තුළ වැඩිම ලකුණු රැස්කර ගන්නා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පදක්කම් පිරිනැමෙන අතර සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගන්නා විශ්වවිද්‍යාලය සඳහා ශූරතාව පිරිනැමේ.
තරගාවලිය පැවැත්වෙන අතරතුර නැගී එන ඉ-ක්‍රීඩකයන් සඳහා අධ්‍යාපනික වැඩසටහනක් 23 වනදා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත. පරිගණක විද්‍යාව, ක්‍රීඩා සැලසුම්කරණය සහ සංවර්ධනය ආදී පාඨමාලා හදාරන සිසුන් හට මෙම වැඩසටහන විශේෂයෙන් වැදගත්වනු ඇත.
ඉ-ක්‍රීඩා තරගාවලියට අමතරව මෙරට ප්‍රමුඛතම කොමික් නිර්මාණ ශිල්පීන්ගේ සමූහයක්වන PRUVE සමග එක්ව නැවුම් ආරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඕනෑම කොමික් ලෝලියෙකුට, Cos ක්‍රීඩකයෙකුට හෝ පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී විය හැකි අතර පසුගිය වසරේදී මෙන්ම මෙවර ද හොඳම Cos නිර්මාණශීලි ඇඳුම සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට ද නියමිතය.
මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මීට සහභාගී වීමට හැකිවන පරිදි මෙම තරගාවලිය සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
එක්-එක් ඉසව් වල ජයග්‍රාහකයන් හට ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනැමේ.
වලංගු විශ්වවිද්‍යාල හැඳුනුම්පතක් සහිත ඕනෑම සිසුවෙකුට අන්තර්ජාලය ඔස්සේ තරගාවලිය සඳහා ලියාපදිංචි විය හැකිය. තරගාවලි දිනයේදී විශ්වවිද්‍යාල හැඳුනුම්පත පරීක්ෂා කෙරෙනු ඇත. කිසියම් විශ්වවිද්‍යාලයක් නියෝජනය කරන කණ්ඩායමේ සියලුම සාමාජිකයන් එම විශ්වවිද්‍යාලයේ ම ඉගෙනුම ලැබීම අනිවාර්ය වේ. ලියාපදිංචි වීම සඳහා කරුණාකර http://university.gamer.lk වෙත පිවිසෙන්න.
වැඩිදුර විස්තර සඳහා http://university.gamer.lk වෙබ්අඩවියට හෝ http://gamer.lk/interuni2016 නිල ෆේස්බුක් පිටුවට හෝ පිවිසෙන්න.

 

Leave a Reply